Friday, July 31, 2015

නායකත්වය හා බුදු දහම 2





නායකයෙකු සතු විය යුතු ගුණාංග මොනවාද? මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ අදහස් දරනවා නොඅනුමානයි. එහෙත් ඒ පිළිබඳ පරිසමාප්ත අර්ථකතනයක් ඇතිකර ගැනීම ඉදිරි ඉලක්කයක් ලෙස තබාගෙන සියළු දෙනාට පිළිගත හැකි මූලික කාරණා ගැන සළකා බැලීමක් කිරීමටයි මේ අවස්ථාවේ මා අදහස් කරනුයේ. ඒ තුළින් අප එදිනෙදා දකින නායකයන් ගැන අපට යම් මිණුමක් ඇති කර ගන්නට හැකි වනවා වගේම, අපත් අපේ මට්ටමේදී කෙතරම් දුරකට නායකත්වය දැරීමට සුදුසුකම් දරන්නේද යන්න ගැන ස්වයං ඇගයුමක් ඇති කර ගැනීමටත් එය ඉවහල් වනවා ඇති.
මෙහිදී මාගේ අවධානය යොමු කරන්නේඅපේ සංස්කෘතිය තුළ ඉමහත් ගෞරවයට පත් නායකයකු වන්නේ ගෞතම බුදුන් වහන්යේ කෙරෙහියි. උන්වහන්සේ ඉතා දීර්ඝ කාලයක් නොනැසී පැවතීමට සමත් දර්ශනයක් බිහි කළාක් මෙන්ම එය පවත්වාගෙන යාමට අති විශාල අනුගාමිකයන් සංඛ්‍යාවකුත් බිහි කළා. අතීත ඉන්දියාවේ කුඩා ප්‍රාන්ත රාජ්‍යක පාලකයකුගේ පුතකු ලෙස උපන් බුදුන්වහන්සේ ට, ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ හදවත් දිනා ගනිමින් ශත වර්ශ 25 කට අධික කාලයක් පැවතීමට සමත් ව ඇති මෙවැනි සංස්ථාවක් බිහි කිරීමට උපකාරී වූවා වූ උන්වහන්සේ සතු ව පැවති නායකත්ත්ව ලක්ෂණ කවරේද
පළමුකොටම බුදුන්වහන්සේ සතු වූ දර්ශනය; උන්වහන්සේ සතුව පැහැදිළි, අව්‍යාකූල දර්ශනයක් පැවතුණි.කරුණාව සහ අහිංසාව පදනම් කර ගෙන ගොඩ නැගුණ ඒ දර්ශනය තුළට සියළු දෙනා ආකර්ශනය කර ගැනීමට බුදුන් වහන්සේ සමත් වුණා. තමන් සතු පැහැදිළි දර්ශනයක් තිබීම මෙන්ම එය තමා‍ගේ අනුගාමිකයන්ගේ සුබසිද්ධියට හේතු නොවන එකක් නොවීම ඒ අනුව නායකයකු සතු විය යුතු ලක්ෂණයක්. එසේම සිය දර්ශනය සම්බන්ධයෙන් තමන් තුළ නිරාකූල අවබෝධයක් ඇති නායකයා ඒ මත පදනම්ව ඉලක්කයක් කරා සිය අනුගාමිකයන් මෙහෙය වීමට සමත් වනවා ඇති.
දෙවනුව බුදුන්වහන්සේ සතුව ආදර්ශවත් චරිතයක් තිබුණි. තම අනුගාමිකයන්ට දේශනා කළ ධර්මය තුළ උන්වහන්සේද හැම විටම හැසුරුණ නිසා අනුගාමිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට උන්වහන්සේට හැකි වුණා. මෙම විශ්වාසය පළුදු කිරීමට විරුද්ධවාදීන් ඇතැම් විට කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කළ අවස්ථාවන්හිදීත්, එම උත්සායන් අසාර්ථක වූයේ උන්වහන්සේ සිය ආදර්ශවත් භාවය නිකැළැල්ව පවත්වාගත් හෙයින්. මෙයද නායකයකුට පිහිටිය යුතු ලක්ෂණයක් ලෙස දැක්විය හැකියි. වැදි බණ දෙසන නායකයකුගේ ඒ වැදි බණ යම් මොහොතක හෙළිදරව් වූ විට ඔහු පිළිබඳ විශ්වාසය අනුගාමිකයන් තුළින් ගිලිහෙනවා පමණක් නොව ඔවුන්ගේ ගෞරවය ඔහුට ඉන් පසු හිමි නොවීම නිසා අනුගාමිකයන් පාලනය කිරීමද අසීරු වනු ඇති.
තෙවනුව උන්වහන්සේ සතුව පැවති අපක්ෂපාතී බව උන්වහන්සේට සියළු දෙනාගේ විශ්වාසය සහ ගෞරවය දිනා දීමට සමත් වුණා. ඒ අපක්ෂපාතබව නිසාම සිය අනුගාමිකයන් අතර ගැටළුවක් ඇති වූ විට එයට මැදහත්ව එය විසඳීමට උන්වහන්සේට හැකියාව පැවතුණා. නායකයා සිය අනුගාමිකයන් අතරින් යම් කෙනෙකුට හෝ පිරිසකට වඩා පක්ෂපාත බවක් ඇල්මක් දැක්වීම අනුගාමිකයන් අතර බෙදීම් සහ නොසන්සුන්තාවයන් ඇති වීමට හේතු වනවා පමණක් නොව, නායකයා කෙරෙහි ඔවුන්ගේ ගෞරවය නැතිව යාමට ද එය හේතු වනවා. ඇතැම් විට ඔහුගේපක්ෂපාතීත්වය හිමිවන්නන් අතර පවා ඔහුගේ ප්‍රතිරූපය පිරිහෙන්නට එය හේතු විය හැකියි.
සිව්වනුව බුදුන්වහන්සේ හොඳ මානව සම්පත් කළමනාකරුවක් වුණා. සිය අනුගාමිකයන් ඔවුන්ගේ චරිත ලක්ෂණ අනුව වර්ග කළ උන්වහන්සේ ඒ ඒ පුද්ගලයාට කාර්යයන් පැවරුවේ ඔහුගේ චරිත ස්වභාවයට ගැලපෙන ලෙසයි. සිය අනුගාමිකයන්ගේ චරිත ලක්ෂණ මෙන්ම ඔවුන්ගේ දක්ෂතා සහ අදක්ෂතා නිසිලෙස හඳුනා‍ගැනීමට නායකයකුට හැකි විය යුතුමයි. එසේ කළ යුත්තේ අදක්ෂතා ඉස්මතු කොට ඔවුන්ට ගැරහීමට නොව හඳුනාගත් දක්ෂතා මත සුදුස්සාට සුදුසු කාර්යය පැවරීමටත්, දක්ෂතා ඇගයීම තුළින් දිරිගැන්වීමටත් නිසි මග පෙන්වීම තුළින් හඳුනාගත් දුර්වලතා මග හරවා ගැනීමටත් එයින් හැකියාව ලද හැකි බැවින්.
          පස්වනුව, බුදුන්වහන්සේ සිය අනුගාමිකයන්ට මනා ආරක්ෂකයෙක් වුණා. අනුගාමිකයන් අනතුරකට හෙළනු වෙනුවට අනතුර ඉදිරියට තමාම වැඩම කිරිම උන්වහන්සේ කළා. මෙයද හොඳ නායකයකු සතු විය යුතු වැදගත් ගුණාංගයක්. අනුගාමිකයන් විසින් යමක් මනා කොට ඉටු වූ විට එහි ගෞරවය ලබා ගැනීමට තමා ඉදිරිපත්ව, ඔවුන් අතින් යමක් වැරදී ගිය විට මම නොවෙයි එය කළේ මොවුන්යැයි සිය අනුගාමිකයන් බිල්ලට දී ඇඟ බේරා ගන්නා තැනැත්තාට අනුගාමිකයන්ගේ පමණක් නොව ඉහළ බලධාරීන්ගේද පිළිකුළ ‍හිමි විය හැකියි.
අවසාන වශයෙන් බුදුන්වහන්සේ සිය අනුගාමිකවයනට පෙන්වූයේ නිවැරදි මාර්ගයයි. සිය අනුගාමිකයන්ට නිවැරදි මාර්ගය පෙන්වා දීමට සමත් නොවන නායකයෙක් එමගින් සිය අනුගාමිකයන් අනතුරට හෙළනවා පමණක් නොව අවසානයේ තමාමත් අනතුරට හෙළා ගන්නවා ඇති.
බුදුන්වහන්සේ සතු වූ එම නායකත්ව ලක්ෂණ නිසායි උනවහන්සේ ශත වර්ෂ 25කට පසුව අදටත් මිලියන ගණනාවක් ජනතාවගේ ගෞරවාදරයට පත්ව සිටින්නේ. 
ඉතින්, අප සහ අපගේ ආයතනයන්හි අපේ නායකයන් තුළත් කොපමණ දුරට මේ නායකත්ව ලක්ෂණ තිබෙනවාද? ඒ ඒ පුද්ගලයන් සතුව පවතින ජනප්‍රියතාව සහ ඉහත කී නායකත්ව ලක්ෂණ ඔවුන්තුළ විද්‍යමාන වන ප්‍රමාණය සසඳා බැලීම එක් අතකට සිත්ගන්නාසුළු ව්‍යායාමයක් ද විය හැකියි. එසේම, මෙම ලක්ෂණයන්ට එහැමපිටින්ම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඔබේ ප්‍රධානියා ප්‍රකට කරනවානම් එය ඔහුගේ, ඔබේ, ඔබ ආයතනයේ මතු නොව සමස්ත සමාජයේම අර්බුදයක්, අවාසනාවක් බවට පත්වනවා ඇති. එහි ඇති වඩාම අවාසනාවන්ත කාරණය වන්නේ එවැනි නායකයන් යටතේ බිහිවන්නේත් ඔවුන් වැනිම නායකයන් වීමයි. එය එසේ වුවහොත් එය සමස්ත ජාතියේම අවාසනාවේ විෂම චක්‍රයක් වනවා ඇති. 
නායකයන් සතු විය යුතු මනා ගුණාංග ගැන හුදී ජනයාගේ නිවැරදි අවබෝධය වැදගත් වන්නේ එහිදීයි.
(මෙය ලිවීමේදී ගෞරවාර්හ සෝභිත හිමියන්ගේ Buddha as a leader ලිපිය උපකාරී වුණා)

නායකත්වය හා බුදු දහම 1



සැබෑ නායකයා හදුනා ගන්න
(බුදු සරණ 2008 ක් වූ නොවැම්බර් 6 වන දා බ්‍රහස්පතින්දා)
මිහි පිට උපන් ශ්‍රේෂ්ඨතම හා ආදර්ශවත් නායකයාණෝ අපේ බුදු රජාණන් වහන්සේය. උන් වහන්සේගේ චරිතය පුරාම උදාර නායකයකු සතු ලක්ෂණ දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට
ශාන්ති නායක
ලෝක නායක
ආදී යෙදුම් ද භාවිත වේ. අනුගාමිකයන් විශාල පිරිසක් පිරිවරාගෙන නායකයකු ලෙස සමාජයේ පෙනී සිටීමේ වුවමනාවක් බුදුරජාණන් වහන්සේට නොවීය. එසේ සිටීමේ උවමනාවක් උන් වහන්සේට තිබිණි නම් මුල්ම රහතන් වහන්සේ හැට නම දහම් දෙසීම සඳහා විවිධ ප්‍රදේශවලට නොයවනු ඇත. බුදු පියාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේට ආදර්ශ සම්පන්න ලෙස කටයුතු කළ ශාස්තෘන් වහන්සේ නමකි. ඒ බව බුද්ධ චරිතය තුළින් මනාව ප්‍රකට වේ. එමෙන්ම
චරිතවත් බව,
අගතිගාමී නොවීම,
යථාවාදී තථාකාරී ගුණය,
සමානාත්මතාව,
ඉවසීම අනුකම්පාව,
නම්‍යශීලී භාවය,
නිවැරැදි දර්ශනය
වැනි නායකත්ව ගුණාංග බුදු රජාණන් වහන්සේ තුළ නොඅඩුව පැවතිණි. මෙම ගුණාංග අතුරින් සදාචාරාත්මක චරිතය මූලික සුදුසුකමක් ලෙස සලකන අතරම තවත් ගුණාංග රැසක් එමගින් අවධාරණය වෙයි.
බුද්ධ චරිතයෙහි කිසි තැනක කිළුටක් නැත. එසේම කියන ආකාරයටම කරන, කරන ආකාරයටම කියන ලක්ෂණය එනම් යථාවාදී තථාකාරි ගුණය බුදු සිරිතෙන් ප්‍රකට විය.
වර්ණ භේදය,
ගෝත්‍ර භේද,
නොසැලකිය යුතු බව බුදු රජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවලදී ක්‍රියාවෙන්ම සනාථ කළහ. උන් වහන්සේ සියලු මිනිස් වර්ගයාට දැක්වූයේ සමාන මෛත්‍රීයකි, සමාන දයාවකි. තමන් වහන්සේ අවබෝධ කරගත් උතුම් ධර්ම මාර්ගයට සෙස්සන්ද යොමු කරවීම සඳහා උන් වහන්සේ කුල, ජාති, ආගම්, භේද නොසලකා ඉදිරිපත් වූ සේක. ධර්මාවබෝධයට ශක්තිය ඇත්තවුන් සොයා ගව් ගණන් පා ගමනින් හෝ සෘද්ධි බලයෙන් වැඩම කොට දුක්ඛිත තත්ත්වයට පත්වූවන් ඉන් මුදා ගැනීමට ක්‍රියා කළ සේක. කම්පාවට පත්වනසිද්ධි වලදී අකම්පිතව ප්‍රශ්න වලට මුහුණදීමේ හැකියාව බුද්ධ චරිතයෙන් ප්‍රකට වේ. තම අනුගාමිකයන්ගේ විවිධ වූ කුසලතා ශක්තීන් තේරුම් ගෙන ඔවුන්ට සුදුසු වගකීම් පවරා උපරිම සේවයක් ලබාගත් අයුරුද, අනුගාමිකයින්ගේ දුබලතා පෙන්වා දී සුමගට ගැනීමේ ලක්ෂණයද බුදු සිරිත තුළ මැනවින් දක්නට ලැබේ.
සත් ගුණවත් පැවැත්මෙන් නිරතුරු පිරිස සතුටු කිරීම සඳහා ජීවිතය කැප කිරීම යහපත් නායකත්වයක ලක්ෂණයකි. බුදු දහමට අනුව එය නිවැරැදි නායකත්වයයි. කූටදත්ත සුත්‍රයෙහි නිවැරැදි නායකත්වය අංග අටකින් සමන්විත විය යුතු බව සඳහන් වේ. හෙතෙම බහුශ්‍රැත අයෙකු විය යුතුය. (බහුස්සුත) කාරය අකාරය මැනවින් වටහාගත හැකි පුද්ගලයකු විය යුතුය. බුද්ධිමත් විය යුතුය. (මේධාවී) ක්‍රියා ශූර විය යුතුය. (පටිබලො)
බහුස්සුතො තස්ස තස්සෙව
සුභ ජාතස්ස පණ්ඩිතො
ව්‍යත්තො මෙධාවී
පටිබලො අතීතානාගත
පච්චුපපන්නෙ අත්ථෙ
චින්තෙතුං … ‘
(
කූටදත්ත සූත්‍රය)
ගුණයෙන් පිරි දැනුමෙන් ක්‍රියාශූරත්වයෙන් තොර නායකත්වය අඩු පාඩු සහිත ය. දැනුමෙන් පිරි ගුණයෙන් තොර නායකත්වය ද එවැනි ය. එබැවින් ගුණයෙන් හා නුවණින් යන දෙකින්ම එකසේ පරිපූර්ණ විය යුතුය. එය සර්ව සම්පූර්ණ නායකත්වයකි.
ලෞකික ජන සමාජයෙහි නායකත්වය පිළිබඳ සංකල්පය බුදු දහම අනුව නව වටිනාකම් ලබන අයුරු මේ අනුව පැහැදිලි කර ගත හැකි ය.
නායකත්වය පිළිබඳ විමංසනයේදී සංඝ සමාජය උදෙසා වූ බුදුරදුන්ගේ ප්‍රතිපත්තිය කුමක්ද යන්න සැකෙවින් විමසා බැලීම සුදුසුය. සංඝ සමාජය පුද්ගල නායකත්වයකින් සම්පූර්ණයෙන් තොරය. බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව සංඝ සමාජයේ නායකත්වය හැටියට සැලකුවෙ ධර්මය හා සදාචාර ව්‍යවස්ථාවයි. කිසියම් පුද්ගලයෙකු නොවේ.පුද්ගල නායකත්වය නැතත් සිල්වත්, ගුණවත් උගත් භික්ෂුවකට ගරු කිරීම හා ඔහු අනුගමනය කිරීම සාමාන්‍යයෙන් විනය ව්‍යවස්ථාවනට අනුකූලය. එහෙත් එමගින් බලය එක් තැනක රැඳීම වැනි අධිකාරයක් ඇති නොවේ. කොතනක වාසය කළත්විනය අනුවම පැවැත්ම අන්‍යොන්‍ය සම්බන්ධය සංඝ කර්ම ආදිය ව්‍යවස්ථාපිතය.
සංඝ කර්ම අවස්ථාවක දී පවා උගත් සිල්වත් ගුණවත් දෙටු තෙර කෙනෙකු ඒ අවස්ථාවට සම්මත කර ගැනීම සාමාන්‍ය අනුදත් පිළිවෙලයි. එය බලපෑම් කිරීමේ පුද්ගල නායකත්වයක් නොව විනය අනුව ඒ අවස්ථාවේ සම්මත චාරිත්‍රයකි. ජ්‍යෙෂ්ඨ නවක විශේෂය අනුව නම් පැරණි සාමාජිකත්වය මූලිකය. ඊට අනුකූල විය යුතු වේ. එසේම ආචාර්ය උපාධ්‍යාය සද්ධි විහාරික අන්තේවාසික යන වර්ග කිරීමේදී මෙහෙයවීමේ වගකීමක් කිසියම් ප්‍රමාණයකින් ආචාර්ය උපාධ්‍යාය තනතුරුවලට අදාලය. ඒ අනුව පුහුණුව ලැබීමේ හික්මීමේ කටයුතු කිරීමේ තත්ත්වයක් සද්ධිවිහාරික අන්තේවාසික තත්ත්වයන්ට අදාල වේ. මෙම මෙහෙයවීමේ වගකීම කිසියම් ආකාරයක නායකත්වයකි. ඒ නායකත්වයද අර්ථ නිරූපනයක් නොව ඇත්තේ ගුණ දහමින් පීතෘත්වයටය. වේදාංග ආදී බද්ධ විහරණ ක්‍රියාවට නගන විවෘත සත් ගුණවත් ක්‍රියාකාරීත්වයක් හැටියටය. එපමණක්ද නොව ඒ තනතුරු කෙරෙහි බහුශ්‍රැතභාවය, බුද්ධිමත් බව, සදාචාරාත්මක චරිත ශුද්ධිය විශේෂයෙන් අවධාරණය කර ඇති බවද මෙහිලා සඳහන් කළයුතු වේ.
ධාර්මිකත්වය
සදාචාරාත්මක ජීවිතය  
මානුෂික අවශ්‍යතා පිළිබඳ මනා වැටහීමක් ඇති බව
යනාදී නිවැරදි නායකත්වයක ලක්ෂණයකි. එසේ නොවන විට යටත් පිරිසෙයින් ඒ අතරින් එක් වගකීමක් හෝ පැහැර හරි නායකත්වය නිවැරදි නොවේ.
නායකත්වයෙහි ධාර්මික හෝ අධාර්මික බව කෙතරම් ප්‍රබලදැයි කිවහොත් එය ස්වාභාවික පරිසරයේ නියමයන් වෙනස් වීමට පවා තුඩු දෙන බව බෞද්ධ මූලාශ්‍රයන්හි සඳහන්ව ඇත.
නායකත්වය අයහපත් වන විට දූෂිත වන විට භෞතික නියමයක් සෘතු ගුණයන් පවා වෙනස් වේ යැයි කියා ඇත්තේ නායකත්වය සදාචාරාත්මක පැවැත්ම කෙරෙහි යොමුවීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමටය. (අංගුත්තර නිකාය) නායකත්වයේ ගති ස්වභාවය හා බලපවත්වන ආකාරය ද අවරෝහනාත්මක අනුක්‍රමයකින් සිදු වේ. හොඳ නොහොඳ දෙයාකාරයෙන් ම එය එසේ සිදුවන බව එහි දී පැහැදිලි කර ඇත.
නායකත්වයේ මේ බලපැවැත්ම පෙළ පොත්වල උපමාවකින් සඳහන් කර ඇත්තේ ගව රැලක් ගංගාවක් තරණය කරන විට පළමු ගවයා ඇදට යයි නම් සෙසු ගවයන් ද ඇදට යාම මෙවැනි ප්‍රායෝගික නිදර්ශනයක් ගෙන හැර දැක්වීමෙනි. මේ අදහස භාවාත්මක අභාවාත්මක දෙ අංශයටම සාධාරණය.
රාජෝවාද ජාතකයේ දී වැඩි වශයෙන් මතුකර පෙන්වන්නේ සියලු දෙනාටම සාධාරණය ඉටු වන ශුභ ධර්මයන්ගෙන් යුත් නායකත්වය සමාජ ශුභ සිද්ධිය පිණිස අත්‍යාවශ්‍ය කාරණයක් බවයි මූලික තැන ගන්නෝ වැරැදි මඟක් වෙත්නම් අවශේෂ කොටස් ගැන කියුම කවරේද යන ප්‍රශ්නය එහි මතුකර ඇත්තේ නායකත්වය ධාර්මික සදාචාරාත්මක යුක්ති ගරුක පැවැත්මක් විය යුතුය යන අදහස තහවුරු කිරීමටය.
රෝහණ මින හා මහා කපි වැනි ජාතක කථාවලදී පෞද්ගික හා සමාජික යුතුකම් නිසියාකාර ඉටු කිරීම හා ආත්මාර්ථකාමී නොවී යුතුකම් සේවය සඳහා ජීවිත පරිත්‍යාගයෙන් වුව ඉදිරිපත් වීමේ ගුණය නිවැරදි නායකත්වයක ලක්ෂණ බව සඳහන් කර ඇත.
සත්‍යවාදී බව හා අවංක බව වැනි ගුණ ධර්ම නිවැරදි නායකත්වයේ අවම ලක්ෂණ විය යුතුබව වේතිය ජාතක කථාව වැනි ජාතක කථාවලින් ගෙනහැර දක්වයි. බෞද්ධ චින්තනය මුළුල්ලේම විහිදෙන මාතෘත්වය හා පීතෘත්වය පිළිබඳ අදහසද නායකත්වයේ ලක්ෂණ අතරට ගැනේ. නායකත්වයේ ලක්ෂණයක් හැටියට මහා සුදස්සන සූත්‍රයේ සඳහන් වන මෙය වැඩි දුරටත් ආදිත්ත ජාතිකයේ ද පැහැදිලි කර ඇත.
නිවැරදි පැහැදිලි නායකත්වය පිළිබඳ බෞද්ධ චින්තාවේ ඉගැන්වෙන ප්‍රතිපත්ති වඩාත් සංග්‍රහාත්මකව පළ කිරීමකි. දසරාජ ධර්ම. එහිදී අවධාරණය කරන්නේ සදාචාරාත්මක චරිතය, අවංක කම, කාර්යක්ෂමතාව, ඉවසීමේ හා ඇප කැපවීම පිළිබඳ අවශ්‍යතාවයි. නායකත්වය ශ්‍රී‍්‍ර නාමයක් ලෙස නොව මිනිසා කෙරෙහි අර්ථවත් වන ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයන් පිළිබිඹු කරන මෙහෙයවීම පිළිබඳ වැදගත්ම වගකීම වශයෙන් බුදු සමයෙහි නව වටිනාකම් ලබන අයුරු මේ තුළින් මනාව පැහැදිලි වනු නො අනුමානය.